Thursday, January 23, 2014

අවසානයක් නොවූ එදින...

අද මම අක්බාර් පාලම උඩ තනිවම සිටගෙන සිටිමි. මුලු මහත් ජීවිත කාලයටම අක්බාර් පාලම උඩ තනිවම සිටින්නේ පළමු වතාවටය. සිත්වින්දීගේ මිතුරියකගේ උපන්දින සාදය ට පැමිණි ජේත්තුකාර තරුණ අම්මලා මග හැර මම පැයක් දෙකක් නිස්කලංකේ තනිවීමට ඉටා ගතිමි.

දසවසකට පෙර වූ ඒ අතීතය මිහිරිද අමිහිරිදැයි පැහැදිලිව වර්ග කිරීමට මම නොදනිමි. ඔහුත් මාත් එක් වතාවක් නොව සියක් වතාවක් පුරුද්දට මෙන් අක්බාර් පාලමෙහ්න් පහළ පේන මහවැලි ගඟත් , නදී ඉවුරත් , අන්ධකාරයත් ,අසලක වැතිර සිටින යෝධ පෙම්තුරත් බැහැ දැකීමට පැමිණියෙමු. පැහැදිලි හේතුවකින් තොරවම අප ඒ පුරුද්දට ඇබ්බැහි වී සිටියෙමු. ඔහු පසෙක නැතිව තනිවම අක්බාර් පාලමට අඩිය තබන්නට මීට ඉහත මා කිසි දිනෙක එඩිතර නොවීමි. ඒ හිස්කම අත් විඳ බලන්නට මම බිය වීමි. ආලය මෙතරම් මහත් ඵල ඇති කරතැයි මා හඳුනා ගන්නේ වෙන්වීමේ අනතුරු එලි දැල්වෙන තැනදීය.

අක්බාර් පාලම මතදී අප හමුවූ අවසන් දිනය සිහි කරන්නට ඇති නොකැමැත්ත නිසාම මා ඒ මතට පය නොතබන්නට ඇත. සිත්වින්දී ගෙන් මඳකට නිදහස් වන මොහොතකදී පෙම් තුරට ඔබ්බෙන් මාරුතිය නවතා හිඳ පෙම් තුර යටදී නොතින් සෙනෙහසින් තුරුලුව සිටි අහිංසක පෙම්වතුන් දෙදෙනගේ චිත්‍රයට අවසන් දිනයෙහි ඉඩක් තිබුනේ නැත.

එදින වෙනදාටත් වඩා අඳුරින් යුතු විය. පේරාදෙණි කලාගාරය අසලින් වාහනයෙන් බසිද්දී සුපුරුදු ලෙස ඔහුගේ නිහඬ දුරකතනය එලි දල්වයි. මා ඉදිරියේ හිඳිද්දී වෙනදාට එය නොදු‍ටුවා සේ යලිත් සඟවා තබද්දී මා කිසිසේත්ම පැනයක් නොනැගුවෙමි. මඳ රිදුමක් දැනුනද මා අහිංසක හිත රවටා යලිත් සිනහසෙන්නට පුරුදු වී සිටියෙමි. එහෙත් මා අසලක ඇති බව වත් නොතකා ඔහු අද දුරකතනය ට ප්‍රේමණීය අයුරෙන් පිලිතුරු දෙයි. එය මට දරාගනු අපහසු වෙයි. හදවත යලිත් හැඟුම්බර වී ඇතිද.? ගල් ව තිබූ සිත මාස කිහිපයක ඇවැමෙන් යලිත් සුඛනම්‍ය වීම යහපතට තුඩු නොදෙයි. අනර්ථයම ඇති කරවයි. ඔහු කිසිත් නොවූවාක් සේ යලිත් මා හා දොඩමලු වෙයි. හිතේ ඇති කුඩා කහටින් ආතුරව මට වචන ගලපා ගනු අපහසුය. එනිසා මම නිහඬව ඇවිද යමි. ඔහු කිසිත් නොවූවක් මෙන් අතීත හෑලි ගෙන හැර දක්වමින් මගේ නිහඬබව නොතකා තොර‍තෝන්චියක් නැතිව කියවමින් සිටී.

ගැහැණු හදවත රිදී තිබේ. ඒ රිදීම මා භාර ගත යුතු නොවේද? ඒ මා නොදන්නා නොසිතූ විරූ වේදනාවක් නොවේ. අනපේක්ෂිත හඳුනා ගැන්මක්ද නොවේ. එසේ නම් , ඔහුගෙන් මුහුණ සඟවාගෙන අඳුරට මුසු කරන මේ කඳුලු ඇස් වලින් ගිලිහෙන්නේ කුමක් නිසාවෙන්ද? මම අඳුරේම හොරෙන් දෑස් පිසදා ගනිමි. මා කවදත් ආශාවෙන් නරඹන පරිදි , පිට කොන්ද අක්බාර් තාප්පයෙහි වැතිර , දිගු කෙහෙ‍රැලි ගඟ ගලා බසින තාප්පයෙන් ඔබ්බට විහිදුවමින් අහස දෙසට නෙත් යොමා පසු පසට වැතිරෙමි. අහස සහ කඳු මිසක අන් කිසිවක් දැසට නොපැමිණෙයි. අහසෙහි හැමදාමත් මේ වෙලාවටගමන් ගන්නා දීප්තිමත් චන්ද්‍රිකාව අදද මා දැස් පසු කරමින් සිටී.

ඔහුද මා අනුව උඩ බලා සිටී. එහෙත් ඒ වෙනත් චන්ද්‍රිකාවක් දෙසය. පෙර මෙන් කණාමැදිරින් සැනකෙලි පෙන්වන්නේ නැති. ඔවුන් අපට වඩා වේගයෙන් මහලුව ගොස් ඇතුවා විය හැකිය. 


මොකෝ බුම්මගෙන. ? අද හවස අපූරුවට හිටියෙ? මොකද උනේ?
ඔහු කිසිත් නොවූ අයුරෙන් විමසයි.

මට හැඬුම් එයි. කඳුලු නවතා ගැන්ම අපහසුය.

මම ආස නැ මම ඉන්න වෙලාවට අනික් කෙල්ලො කතා කරනවට. අඩු ගානෙ මට ඇහෙන්නෙ නැති වෙන්න එවුවා තියා ගන්න බැරිද.

ඔහු කෝප ගනී..

මේ මොන කෙහෙල්මලක්ද.. ? අපෝ බැඳපු උන්ට මොන වදයක් ඇතිද හැබැට?

මම හඬමින් ඔහුට තුරුලු වෙමි.

මම එපා කියල නැහැනේ. මම ඉන්න වෙලාවට එපා..

මට මා පත්ව ඇති ඛේදනීය වේදනාව පසක් වේ. සිය පණ මෙන් බැඳී ආදරය කරන මේ මිනිසා වෙනුවෙන් , ඔහුගේ අනේක ජීවිත අභිලාශයන් පවා ඉවසා සිනහ සෙමින් සිටින මේ ගැහැණිය ඔහුගෙන් ඉල්ලා සිටින්නේ බොහෝ ප්‍රාථමික ඉල්ලීමකි. ගැහැණුන් ඇසුරු නොකරන්නැයි කිසිවිටෙක නොයිල්වන ඇය , ඇ අබියස අන් ගැහැනුන් ගෙන හැර දක්වා නොරිදවන්නැයි පමණක්ම ඉල්වනීය. ඇ එතරම්ම අසරණව සිටින්නේ ඔහු කෙරේ ඇති මහත් ආලය නිසාවෙනි.

මට හොඳටම තරහ ගිහින් ඉන්නේ. සැක කරනවට ආස නැහැ මම . හොරයක් තියනව නම් ඉස්සරහදිම ආන්සර් කරන්නෙ නැහැනේ.

ඔහුගේ තර්කය මා අන්ද මන්ද කරවයි. ජීවිතය එතරම්ම ගැටලු සහගත බවක් දැනෙයි. සත්‍යය සහ මායාව එකිනෙකින් වෙන්කොට පසිඳින්නට තවත් නම් මා අසමත් වෙමි.

මම තව තවත් හඬමින් ඔහුට ගතු කියමි. ඔහු මා කොනිත්තමින් කිසිත් නොවූවාක් මෙන් සිනහ වෙයි. එහෙත් මගේ සිත තැලී ඇත්තේය.

හිටපිය තොට හොඳ වැඩක් කරන්න.

ඔහු මා ඉනෙන් අල්වා දෙපසට විසි කරයි. මගේ බඳ වටා දැත් දමා වැරෙන් අල්වාගෙන රිය වෙත පිය මනී.

'මට බැහැ ගහ යටට යන්න. අර ජරා සත්තු මාව කාල දායි'

'මටත් බැහැ'

මමද මුරණ්ඩු ලෙසින් කියමින් ඔහු තල්ලු කොට දමමි.

අප වෙනදා මෙන් නොව , ගොලුවූ හදින් යුතුව පෙම් තුර දෙස නොබලා අනෙක් පසට පිය මනිමින් සිටිමු.  උසැති රුවැති කෙල්ලකගේ අවසන් සංචාරය දෙස වියපත් දැසින් බලාසිටි යෝධ පේම වෘක්ෂය , සමුගැන්මේ සුසුමක් පිට කරනු එදා මම නොදු‍ටුවෙමි.
   
----

තවත් මට ඒ අවසන් දිනය සිහිපත් කල නොහැකිය. ඒය අතිශය ගුප්ත නිහඬ මෙන්ම වේදනාබර  දිනක් නොවේද? අවසානයක් නොවූ සමුගැන්මක් නොවූ එය , අතීතය අතුරුදහන් වීමක් බඳුය.

මම වියපත් පෙම් තුරෙන් දෑස් ඉවත් කොට ගෙන අඳුර මෑද්දෙන් මාරුතිය පණ ගන්වමි. අක්බාර් පාලමට මා යලිත් කිසි දිනෙක අඩිය නොතබන බව පැහැදිලිය
 
එහෙත් ඒ අහඹු නිමේශයෙහි මා දෑසට ඉහලින් දශකයකට පෙරද යාත්‍රා කළ දීප්තිමත් අහස් වස්තුව , පෙර පරිද්දෙන්ම මා දෑස් පථයෙහි යාත්‍රා කරමින් සිටිනු දැක මම විස්මය මුසු මන්දස්මිතියක් නගා මාරුතිය පණ ගන්වමි.

අතීතයේ මෙන්ම අදද ගඟ ගලා බසියි. ජීවිතය නොනවතියි. 

No comments:

Post a Comment