Thursday, January 23, 2014

අවසානයක් නොවූ එදින...

අද මම අක්බාර් පාලම උඩ තනිවම සිටගෙන සිටිමි. මුලු මහත් ජීවිත කාලයටම අක්බාර් පාලම උඩ තනිවම සිටින්නේ පළමු වතාවටය. සිත්වින්දීගේ මිතුරියකගේ උපන්දින සාදය ට පැමිණි ජේත්තුකාර තරුණ අම්මලා මග හැර මම පැයක් දෙකක් නිස්කලංකේ තනිවීමට ඉටා ගතිමි.

දසවසකට පෙර වූ ඒ අතීතය මිහිරිද අමිහිරිදැයි පැහැදිලිව වර්ග කිරීමට මම නොදනිමි. ඔහුත් මාත් එක් වතාවක් නොව සියක් වතාවක් පුරුද්දට මෙන් අක්බාර් පාලමෙහ්න් පහළ පේන මහවැලි ගඟත් , නදී ඉවුරත් , අන්ධකාරයත් ,අසලක වැතිර සිටින යෝධ පෙම්තුරත් බැහැ දැකීමට පැමිණියෙමු. පැහැදිලි හේතුවකින් තොරවම අප ඒ පුරුද්දට ඇබ්බැහි වී සිටියෙමු. ඔහු පසෙක නැතිව තනිවම අක්බාර් පාලමට අඩිය තබන්නට මීට ඉහත මා කිසි දිනෙක එඩිතර නොවීමි. ඒ හිස්කම අත් විඳ බලන්නට මම බිය වීමි. ආලය මෙතරම් මහත් ඵල ඇති කරතැයි මා හඳුනා ගන්නේ වෙන්වීමේ අනතුරු එලි දැල්වෙන තැනදීය.

අක්බාර් පාලම මතදී අප හමුවූ අවසන් දිනය සිහි කරන්නට ඇති නොකැමැත්ත නිසාම මා ඒ මතට පය නොතබන්නට ඇත. සිත්වින්දී ගෙන් මඳකට නිදහස් වන මොහොතකදී පෙම් තුරට ඔබ්බෙන් මාරුතිය නවතා හිඳ පෙම් තුර යටදී නොතින් සෙනෙහසින් තුරුලුව සිටි අහිංසක පෙම්වතුන් දෙදෙනගේ චිත්‍රයට අවසන් දිනයෙහි ඉඩක් තිබුනේ නැත.

එදින වෙනදාටත් වඩා අඳුරින් යුතු විය. පේරාදෙණි කලාගාරය අසලින් වාහනයෙන් බසිද්දී සුපුරුදු ලෙස ඔහුගේ නිහඬ දුරකතනය එලි දල්වයි. මා ඉදිරියේ හිඳිද්දී වෙනදාට එය නොදු‍ටුවා සේ යලිත් සඟවා තබද්දී මා කිසිසේත්ම පැනයක් නොනැගුවෙමි. මඳ රිදුමක් දැනුනද මා අහිංසක හිත රවටා යලිත් සිනහසෙන්නට පුරුදු වී සිටියෙමි. එහෙත් මා අසලක ඇති බව වත් නොතකා ඔහු අද දුරකතනය ට ප්‍රේමණීය අයුරෙන් පිලිතුරු දෙයි. එය මට දරාගනු අපහසු වෙයි. හදවත යලිත් හැඟුම්බර වී ඇතිද.? ගල් ව තිබූ සිත මාස කිහිපයක ඇවැමෙන් යලිත් සුඛනම්‍ය වීම යහපතට තුඩු නොදෙයි. අනර්ථයම ඇති කරවයි. ඔහු කිසිත් නොවූවාක් සේ යලිත් මා හා දොඩමලු වෙයි. හිතේ ඇති කුඩා කහටින් ආතුරව මට වචන ගලපා ගනු අපහසුය. එනිසා මම නිහඬව ඇවිද යමි. ඔහු කිසිත් නොවූවක් මෙන් අතීත හෑලි ගෙන හැර දක්වමින් මගේ නිහඬබව නොතකා තොර‍තෝන්චියක් නැතිව කියවමින් සිටී.

ගැහැණු හදවත රිදී තිබේ. ඒ රිදීම මා භාර ගත යුතු නොවේද? ඒ මා නොදන්නා නොසිතූ විරූ වේදනාවක් නොවේ. අනපේක්ෂිත හඳුනා ගැන්මක්ද නොවේ. එසේ නම් , ඔහුගෙන් මුහුණ සඟවාගෙන අඳුරට මුසු කරන මේ කඳුලු ඇස් වලින් ගිලිහෙන්නේ කුමක් නිසාවෙන්ද? මම අඳුරේම හොරෙන් දෑස් පිසදා ගනිමි. මා කවදත් ආශාවෙන් නරඹන පරිදි , පිට කොන්ද අක්බාර් තාප්පයෙහි වැතිර , දිගු කෙහෙ‍රැලි ගඟ ගලා බසින තාප්පයෙන් ඔබ්බට විහිදුවමින් අහස දෙසට නෙත් යොමා පසු පසට වැතිරෙමි. අහස සහ කඳු මිසක අන් කිසිවක් දැසට නොපැමිණෙයි. අහසෙහි හැමදාමත් මේ වෙලාවටගමන් ගන්නා දීප්තිමත් චන්ද්‍රිකාව අදද මා දැස් පසු කරමින් සිටී.

ඔහුද මා අනුව උඩ බලා සිටී. එහෙත් ඒ වෙනත් චන්ද්‍රිකාවක් දෙසය. පෙර මෙන් කණාමැදිරින් සැනකෙලි පෙන්වන්නේ නැති. ඔවුන් අපට වඩා වේගයෙන් මහලුව ගොස් ඇතුවා විය හැකිය. 


මොකෝ බුම්මගෙන. ? අද හවස අපූරුවට හිටියෙ? මොකද උනේ?
ඔහු කිසිත් නොවූ අයුරෙන් විමසයි.

මට හැඬුම් එයි. කඳුලු නවතා ගැන්ම අපහසුය.

මම ආස නැ මම ඉන්න වෙලාවට අනික් කෙල්ලො කතා කරනවට. අඩු ගානෙ මට ඇහෙන්නෙ නැති වෙන්න එවුවා තියා ගන්න බැරිද.

ඔහු කෝප ගනී..

මේ මොන කෙහෙල්මලක්ද.. ? අපෝ බැඳපු උන්ට මොන වදයක් ඇතිද හැබැට?

මම හඬමින් ඔහුට තුරුලු වෙමි.

මම එපා කියල නැහැනේ. මම ඉන්න වෙලාවට එපා..

මට මා පත්ව ඇති ඛේදනීය වේදනාව පසක් වේ. සිය පණ මෙන් බැඳී ආදරය කරන මේ මිනිසා වෙනුවෙන් , ඔහුගේ අනේක ජීවිත අභිලාශයන් පවා ඉවසා සිනහ සෙමින් සිටින මේ ගැහැණිය ඔහුගෙන් ඉල්ලා සිටින්නේ බොහෝ ප්‍රාථමික ඉල්ලීමකි. ගැහැණුන් ඇසුරු නොකරන්නැයි කිසිවිටෙක නොයිල්වන ඇය , ඇ අබියස අන් ගැහැනුන් ගෙන හැර දක්වා නොරිදවන්නැයි පමණක්ම ඉල්වනීය. ඇ එතරම්ම අසරණව සිටින්නේ ඔහු කෙරේ ඇති මහත් ආලය නිසාවෙනි.

මට හොඳටම තරහ ගිහින් ඉන්නේ. සැක කරනවට ආස නැහැ මම . හොරයක් තියනව නම් ඉස්සරහදිම ආන්සර් කරන්නෙ නැහැනේ.

ඔහුගේ තර්කය මා අන්ද මන්ද කරවයි. ජීවිතය එතරම්ම ගැටලු සහගත බවක් දැනෙයි. සත්‍යය සහ මායාව එකිනෙකින් වෙන්කොට පසිඳින්නට තවත් නම් මා අසමත් වෙමි.

මම තව තවත් හඬමින් ඔහුට ගතු කියමි. ඔහු මා කොනිත්තමින් කිසිත් නොවූවාක් මෙන් සිනහ වෙයි. එහෙත් මගේ සිත තැලී ඇත්තේය.

හිටපිය තොට හොඳ වැඩක් කරන්න.

ඔහු මා ඉනෙන් අල්වා දෙපසට විසි කරයි. මගේ බඳ වටා දැත් දමා වැරෙන් අල්වාගෙන රිය වෙත පිය මනී.

'මට බැහැ ගහ යටට යන්න. අර ජරා සත්තු මාව කාල දායි'

'මටත් බැහැ'

මමද මුරණ්ඩු ලෙසින් කියමින් ඔහු තල්ලු කොට දමමි.

අප වෙනදා මෙන් නොව , ගොලුවූ හදින් යුතුව පෙම් තුර දෙස නොබලා අනෙක් පසට පිය මනිමින් සිටිමු.  උසැති රුවැති කෙල්ලකගේ අවසන් සංචාරය දෙස වියපත් දැසින් බලාසිටි යෝධ පේම වෘක්ෂය , සමුගැන්මේ සුසුමක් පිට කරනු එදා මම නොදු‍ටුවෙමි.
   
----

තවත් මට ඒ අවසන් දිනය සිහිපත් කල නොහැකිය. ඒය අතිශය ගුප්ත නිහඬ මෙන්ම වේදනාබර  දිනක් නොවේද? අවසානයක් නොවූ සමුගැන්මක් නොවූ එය , අතීතය අතුරුදහන් වීමක් බඳුය.

මම වියපත් පෙම් තුරෙන් දෑස් ඉවත් කොට ගෙන අඳුර මෑද්දෙන් මාරුතිය පණ ගන්වමි. අක්බාර් පාලමට මා යලිත් කිසි දිනෙක අඩිය නොතබන බව පැහැදිලිය
 
එහෙත් ඒ අහඹු නිමේශයෙහි මා දෑසට ඉහලින් දශකයකට පෙරද යාත්‍රා කළ දීප්තිමත් අහස් වස්තුව , පෙර පරිද්දෙන්ම මා දෑස් පථයෙහි යාත්‍රා කරමින් සිටිනු දැක මම විස්මය මුසු මන්දස්මිතියක් නගා මාරුතිය පණ ගන්වමි.

අතීතයේ මෙන්ම අදද ගඟ ගලා බසියි. ජීවිතය නොනවතියි. 

Saturday, January 11, 2014

සක්මන් සඳ

මාර්ගය මිනිසුන්ගෙන් විනිර්මුක්තව තිබේ. ගෙදර බලා යන අවසන් කඩ වෙලෙන්දන් සාප්පු වසා දමා ගෙදර දුවන්නට සැරසෙති. නගර මධ්‍යය අමු සොහොනක් මෙනි. වෙලාව රාත්‍රී 9ට පමණ වන්නට ඇත.
ඔහු කතාවකින් තොරවම රිය පදවයි.  මට වෙහෙසක් දැනේ. දිනය නිම වී ඇත. නිවසට යා යුතුය. එහෙත් සිත පිරී නැතැයි හැඟෙයි.

ඔහු නගර වීදියක රිය නවතා බැස ගනියි. යන්නේ කොහෙදැයි, කුමක් කරන්නේ දැයි කිසිදා මම නෑසිමි. ඔහුගේ සියලු අඩල් රස්තියාදු ගමන් මට ප්‍රිය වූ හෙයිනි. 

මම රියෙන් බැස ඇඟමැලි කඩමි. ඔහු මා අසලින් සැහැල්ලු අඩි තබමින් ඇවිදින්නට වෙයි. මම ඔහු පස්සෙන් දැවටෙමි.  තොරතෝන්චියක් නැතිව කතා කරමින් නගරයේ හිස් වීදි දිගේ අපි ඇවිදිමු. කඩ පිල් වසා ගෙදර යාමට ලහි ලහියේ සූදානම් වන්නෝ පුදුමයෙන් බලා සිටිති. දෙනෝදාහක් නිදාවැටෙන්නට වලිකන රාත්‍රිය නොතකා, දවස ඇරඹුනේ දැන් යයි හඟවමින් අපි සැහැල්ලුවෙන් ඇවිදිමින් සිටින්නෙමු.

යුවලකට සිතන්නට ඊට වඩා බොහෝ බර දෑ ඇතුවා විය යුතුය. කඩපිලකට විත් ගෙට අවැසි දේ මිලට ගනු විනා , හිත නිදහසේ මෙසේ ඇවිදිය හැකිදැයි වීදි කඩකරුවන්ට විමතියක් පහල නොවන්නේ නම් අරුමයකි.රස්තියාදුකාරයින්, බේබද්දන් , සෙල්ලක්කර තරුණයන් , විදේශිකයන් විනා යුවලකට ඇවිදින්නට නුවර රාත්‍රිය සුදුසු නැතැයි උන් සිතනවා විය හැකිය.  අපට එහි අරුමයක් නොදැනෙයි.

බට්ටි .. කීය වෙනකල් ඉමුද ?

ම්ම් තව ටිකක්...

පිස්සුද... තෝව අද දොළහෙන් මෙහා ගෙදර යවන්න බැහැ.

මට බැහැ. එහෙනම් ගෙදරම අරන් යන්න වෙයි.

හා ප්‍රශ්නයක් නැහැ. අපෙ අම්ම කන්න දීල නිදියන්න තැනකුත් දෙයි.

මට බැහැ.

ඔහුගේ සොඳුරු ආධිපත්‍යයට අභියෝග කිරීම නිශ්පල මෙන්ම ප්‍රීති සහගතද වෙයි. දිනන්නේ ඔහු බැවිනි .

දැන් අරෙහෙ යන්නෙ කවද්ද?

මට බැහැ. යනවනම් වෙනම කාමරයක් ඕනෙ මට.

එහෙම බැහැ.  මාත් එක්ක ඉන්න ඕනි.

මේ හැමදාමත් රණ්ඩු ඇල්ලූ වදන් පමණකි. එහෙත් තරුණ සිත අන්දමන්ද වෙයි.නමුත් ඔහු හොඳින් දන්නා මා , දන්නා කරුණකි.  උවමනා නම් අපට එකිනෙකාට තුරුලුව පමණක්ම , සිපගැනීමකිනුදු තොරවද රැය පහන් කළ හැකි බවය.

රාත්‍රිය වේගයෙන් ගෙවී යයි. අක්බාර් පාලම අප නොදැක ඉන්නට බැරුවාක් මෙන්, අපට ආරාධනාත්මක ආලෝකයන් නිකුත් කරයි. කණාමැදිරින් නොකියාම සැඟව ගොසිනි. ආලයේ දිස්නයද එබඳුමද? කලකට ඉහත වේගවත් ගිනි පුලිඟුවක් මෙන් දෑස් නිලංකාර කළ ඒ හැඟුම අද , කලාතුරකින් එලි එක දෙකක් විහිදන කණාමැදිරි එලියක් වී ඇත්ද?

යෝධ පෙම් තුර ගණ අඳුරේ , තිත්ත කරුවලේ ගිලී ඇති අයුරු දැක සිත පැකිලෙයි. ලා තැඹිලි එලි විහිදන ලාම්පු කණු දෙස අනේක වර නොමනාපයෙන් බැලූ දෑස් , අද අඳුරෙහි තැති ගනී. අන්ධකාරය එතරම්ම බියකරුය. බූවල්ලෙකුගේ අඬු ලෙසින් දෑත් විදා සිටින පෙම් තුරෙහි සෙවණැලි බිය ගෙනේ.

අපි යමු බට්ටි. කරුවල වැඩි. එච්චර සේෆ් නැහැ. 

මා සිතූ දේ ඔහුගේ මුවින් ගිලිහෙයි. තැවීමක් නැත. බලාපොරොත්තු මෙන්ම සිහිනද නැත . හෙටද අද මෙන් දවසකි. ඒ ගැහැනු ජීවිතය, හැඟුම්බර නොවී ආනන්දයෙන් යුතුව අද හෙවත් මේ මොහොත කෙරෙහි කෘතවේදීව , සැබෑ වේදනාව නොතකා සිනහ වෙයි.

-------

එක්තරා දවසක , මධ්‍යම රාත්‍රියද ආසන්න වනතුරු , මහනුවර නගර වීදි දිගේ විසේකාර කොලු ගැටයකු සමග ඉබාගාතේ ඇවිද ගිය ඒ කෙල්ල , මහ ගැහැණියක පමණක් නොව , දඟකාර නොවන්නැයි දූ පොඩිත්තීට තරවටු කරන අම්මා කෙනෙකුද වී සිටින්නීය. ඇයට තවමත් දශකයකට පෙර දිනෙක , නුවර පුරා මධ්‍යම රාත්‍රියේ තැබූ පිය සටහන් හා කතා බහ මතකය.  කොලඹ වීදියෙහි , ඒ නැවතුම් පලෙහි එතැන්ම මාරුතිය නවතාගෙන ඇය පද පෙලක් කුරුටු ගාන්නීය.

සබඳ , පෙර 'අවසන් දිනෙක'
මා හෙලූ අවසන් සුසුම
කලතා අලු වර්ණයක 
කැන්වසයෙහි අඳිනු මැන..

දීප්තිමත් වර්ණ පදාසයක් 
අහම්බෙන් මෙන් විසි කොට 
හංගා අඳුරු අලු පාට ,
සිනහවක් තවරනු මැනව.. ..

එහි කොනෙක දුටුවෙද? 
පෙර මැදියම් රෑක 
නුවර වීදියක වට
කඳුලු කැටයක බොඳ ?