Thursday, February 6, 2014

සඳ දුටුවෙමි

අවසන් දින එකක් නොව කිහිපයක්ම ගෙවී ගියේය. ඒ කෙසේ වෙතත් , ඒ අවසාන දිනය, නොසිතන මොහොතක මා වෙත එන බැව් මම දැන සිටියෙමි. උවමනාවෙන්ම හද තලා පෙලා,  විටෙක බලෙන්ම රිදවා ගනිමින් මම නුදුරෙහි එන එම වේදනාවට පෙරහුරු වූයෙමි. අමනාපයක් නොදැනේ. මන්ද ඔහු මට ජීවිතය සමග සිනහසෙන අයුරු ඉගැන්වූ හෙයිනි.

ඔහුගේ නිරන්තර උණුසුම ලද ඒ තෙමස මට සිහිවෙයි. ඒ මීට දශකයකට කලිනි.  අදටත් , මා දන්නා ලෙසින් ඒ මගේ ජීවිතයේ වසන්තයම යැයි කියමි. එහි ප්‍රහර්ෂය , සැණකෙලිය , මෙන්ම පරමානන්දයද අරක් ගෙන සිටියා පමණක් නොව , නොසැනසුම අසහනය හද වෙත එබී බැලුයේ එහෙමත්ම වෙලාවකය..

-----

එතැන් පටන් අප හමු වන සෑම දිනයම 'අවසන් දිනයදැයි' මම බියෙන් බියෙන් හදවත විමසා බලන්නට හුරූ වීමි.  සිතේ සහ මගේ වාසියට මම මටම පිලිතුරු දීගතිමි..
'නැහැ.. මට එහෙම හිතෙන්නෙ නැහැ'

අක්බාර් පාලම අසල තැඹිලි ලාම්පු එකක් විනා , අනෙක්වා එදින නොදැල්වින.  එහෙත් වෙනදාට නුහුරු මහා සුදු එලියකින් පාලම ශ්වේත වර්ණයෙන් දිලෙන්නේ මන්දැයි මම විස්මයට පත් වෙමි.

විස්මයෙනුත් විස්මයකි ! වසර දෙකකුත් හමාරක් තිස්සේ සඳ කොහේ නම් තිබුනිද? අහසේ සඳ ඇති වග අනේක වර අක්බාර් පාලම මත දුටිමි. එහෙත් ඉන් එලි දහර විහිදනු, ඒ ශ්වේත සඳ දියෙන් පාලම් බඳ තෙමී නැහැවී උමතු ආලෝකය පිටාර ගලනු මම වෙන කවදාවත් දැක නොතිබුනි.  කණාමැදිරි සංදර්ශනයක් මිස මෙහෙවු ආලෝකයක් මම නොදුටු හෙයින්ම සීතලද අමතකව ගියේ අසුරු සැණෙකිනි.

වෙනදා කතා මල්ලෙන් තොරතෝංචියක් නැතුව එලියට පණින ඕපාදූප අද ගුලිවී හද කුහරයෙහි හිරව තිබේ. ගලන සඳ දියර ,දෑස් වලින් උරා ගන්නට මෙන්  ,  මම මහත් ලොබ බැල්මෙන් පාලම් බඳ දෙස බලා සිටිමි. සඳ මිස දොඩමලු අනෙකෙකු නැත.

ඔහුගේද කතා මාලාවන් අඩපණවී තිබේ. පැහැදිලි අහස මුදුනෙහි මෙතරම් කලබැගෑනියක් ඇති කරන්නේ අඩ සඳකි. ඉන් පෙරෙන ශ්වේත කදම්බය මගේ සිත උමතු කරන්නට ආසන්නය. සීතලක් මතුව එයි. අවුල් ජාලාවක් වන් මගේ කොණ්ඩයෙහි පැටලී අතරමංව සිටින කණාමැදිරියෙකු දෙස නොකල්පනාවෙන් බලා සිටිමින් ඔහු කටට එන ගී කැබලි මුමුණයි. සීතලෙන් මිදෙනු පිණිස මම ඔහුගේ උණුසුම් අතකට හොරෙන් හේත්තු වෙමි. ආලයේ මං පෙත් විවර කොට , ප්‍රේමාවෙගයෙන් උමතුව මා වැලඳ ගන්නැයි ඔහුගෙන් යදින්නට , අහංකාර සිත ඉඩ නොදෙයි.

මේ මොහොත මගේ යැයි ආත්මාර්ථයක් මේ ඊයෙ පෙරේදා වෙනතුරුද හිතේ තිබුණා මතකය. අද මම මගෙන්ම යලිත් එය අසා බලමි. 

'මේ විඳින හැඟුම මගේය. මොහොතකට නුඹ නොමසුරුව ඉන් තුටු වන්න. ඔහුත් එක්ක ඒ සතුට බෙදා ගන්න . ඔබේ සිනහව සැහැල්ලුව තරම් ඔහු සතුටු කරන අන් දැයක් නැතැයි සිතන්න'

මගේ සිත අති පණ්ඩිත නාකි මැහැල්ලක් සේ මට උපදෙස් දෙමින් ඇඟිල්ල උරුක් කරයි.

'ඔහුගේ හැඟුම් නොසොයන්න. දිය හැකි අවසන් සුසුම් පොදද ඔහු බලා සිටින ඔබේ මුහුණේ ප්‍රහර්ෂය වෙනුවෙන් නොමසුරුව දෙන්න. ඔහුද ඔබ මෙන් වේදනාවෙන් උමතු වන්නට ආසන්නයේ වුවද සැහැල්ලු වෙස් මුහුණකින් සිනහ සී , දිනෙක යනු ඇත. නො එන බව , ඔහු පමණක් දැන සිටිද්දී , බිම බලාගෙන ඔහු බර පියවර තබද්දී , ඔබ කුඩා දැරියක් මෙන් ඔහුගේ කමිස කොණෙහි එල්ලීගෙන , මෙලෝ හසරක් නොදැන ,  උඩ අහසෙහි තරු බලමින් , සරසවි බිමෙහි තණ පිඩලි මගහරිමින් අඩි තබනවා විය හැකිය'

සඳ විසින් මා උමතු කොට ඇතැයි මට සිතේ. දෙගුණයක් එලි විහිදවූයේ නම් මා පූර්ණ උන්මත්තකයෙකු වීමේ චෝදනාවට සඳ වග කිය යුතු ව තිබිණ. සඳෙහි පටන් ගත් උමතුව , වියපත් වූ කල්හිද ඔහු වෙතින් නොමියෙන හද රැහැනක්ව පරාවර්තනය වෙයි .  එසේ මුදු මොලොක්ව ඇති  අරුමැති ගැහැනියගේ සිත නම් මිණ හැංගී ඇති සිඟිති ගුහාව සොයා ගත්තේ 'මේ මම්' යයි උදම් අනන්නාක් සෙයින් ,  ඔහු ආලිංගනයෙන් හෝ සිප ගැනුමකින් තොරව බොහෝ වේලාවක් මගේ මුහුණෙහිත් ගෙල දෙපසත් සිය රළු රැවුල් කොට තෙරපමින් සිඹියි.  නො එසේනම්, ඇතැම් විට ඔහුද මා මෙන්ම 'මේ අවසන් සිප ගැන්මවත් වේදෝහෝයි' තමන්ගෙන්ම අසනවාවත්ද? එයට ඇත්තේ අල්ප අවස්ථාවකි. මා ඔහු දනිමි.

දෙතොල් ඔහු වෙත පෑමට නොසිතෙයි. ආලවන්ත හැඟුමෙහි ඇලී වෙලී පැටලී සිටීම ඊට වඩා ආනන්දජනක බව ඉවෙන් මෙන් හඳුනාගෙන සිටිමු.  කොන්ක්‍රීට් බිත්ති හතරකට කොටුවී සිටීමට තවමත් ඇති නොතිත් අවස්ථා මග හරිමින් සඳ එලියත් , සීත සුලඟත් විසින් නිරතුරු බාධා පමුණුවන පෙම් තුර යටට අප අවසිහියෙන් මෙන් , උමතුවෙන් මෙන් නිරතුරු ඇදී ආයෙමු.  එය ගැහැණියක හා පිරිමියෙකු අතර ගොඩ නැගෙන හුදෙක් ආත්මීය බැඳීමකටද එහා ගිය සෞන්දර්යාත්මක උමතුවකැයි මම කියමි.

ආලයෙහි අසීමිත බව , පදනම් හෝ ඉරි හෝ කොටු නොමැති බව දෙවසරකින් වියපත් සිත හඳුනාගෙන සිටී.

කිසිදා කූඩු පොඩිත්තක සිරව ගී නොගැයූ කුරුලු පැටවෙකු  , උස් මහත් කුරුලු මහත්තැන් කෙනෙකු වන්නේය. උහු විසල් කූඩුවක් වෙත ආසක්ත කොට ගෙන , ආල රැඟුමෙන් ගාල් කොටගන්නට නොකැමති වීමි. කූඩුවෙහි දොර තදින් වසා පියා හිඳ , ඔහු සිප සනසා නලවා , ඒ මුහුණෙහි අවංක ප්‍රහර්ෂය දකිනු නොහැකි බව මම උදක්ම හඳුනා ගෙන සිටිමි.

දෙනෝදාහක් එන යන , දශක ගණනාවක් තිස්සේ දෙනෝදාහක් පෙම් සුසුම් , රාගී ආවේග සහ කඳුලු වැල් ඉවසා වදාරා සිටින යෝධ ප්‍රේම වෘක්ෂයේ සෙවණ මෙන් නිදහසින් උමතුව ඔහු සිප ගන්නට පමණක්ම රිසි වීමි. අනතුරින් විනිර්මුක්ත වූ , සුලඟද රිසිසේ එතෙන , එලිය මෙන්ම අවකාශයද රිසිසේ නිදහසේ පියඹා යන එතැන මඳක් නතරව , ආලයෙන් උමතුව මිස අඳ නොවූ සුන්දර කිරිල්ලිය අසල දැවටී , ඉවරයක් නැති ආලයෙන් මත්ව ඒ ප්‍රමෝදයෙන් සරසවි අහසෙහි වේගයෙන් කරණම් ගසමින් පියඹා යන උමතු කුරුල්ලෙකු දෙස , අඩ සඳ , අඩ දුකින් හා අඩ තුටින් බලා සිටිනු මම දැක ඇත්තෙමි.

------

'අම්මා , සීතල වෙයි , ඇතුලට එන්න ' 

ඔහු දෙන්නේ විධානයක් නොව , ආරාධනයකි. බැගෑපත් වීම පිරිමි කමට නොතරම් මෙන්ම , එයින් මසිතට අපුලක් මිස යටත් කරගැනීමේ විජයග්‍රහණයක් කිසිසේත් නොදැනෙයි. එහෙයින් ඒ විධානය මගේ රෝම කූප ආඩම්බරයෙන් පුරවයි.

අම්මා - ආදරය , සීතල වෙයි - ආරක්ෂාව , ඇතුලට එන්න - විධානයක ඔතා එවන ප්‍රිය ආරාධනය 

ආදරය යනු, හැඩයෙන් බරින් එලියෙන් සහ දිග පළලින් , එකිනෙකාගෙන් බොහෝ අනන්‍ය වූ , තාරකාවන් වැනිය. කෙතෙක් අනන්‍ය වුවද විහිදෙන සූර්ය පරාවර්තනය තාරකා එලියම වන්නේය.

පිපෙද්දී , සිය පෙති පුබුදු වූයේ සඳ නිසාවෙන්ද , තරු නිසා වෙන්ද කියාවත් ,  එසේනම් ඒ කොයි තරු එලියෙන්ද කියාවත් , සොබාදහම හෝ කොඳ කුසුම දන්නේ නැත.

No comments:

Post a Comment