Monday, December 16, 2013

උදුම්බරා

දස වසකට පෙර .... දෙසැම්බරයේ දවසක ...

සන්ධ්‍යාව ඉතා අඳුරුය. ගුප්තය. අස්ථි කූඩුව දක්වාම  සම් මස් ඇට නහර විනිවිද ගිය , දරාගත නොහැකි තරම් සීතලකි. ගතෙහි දාහයක් නැතුවාක් මෙන්ම සිතද අනාතුරය. මඳ පින්නෙන් තෙත්වූ අක්බාර් පාලම්  සිමෙන්ති බැම්මෙහි දෑත් ගසා ගෙන මම කණාමැදිරි සංදර්ශනයක් සිත යටින් පතමින් සිටිමි.

'අද කණාමැදිරිත් නැහැ'  
මා සිත කියවමින් , කලකට පෙර මා ලියූ අකුරු සිහිගන්වන්නටදෝ ඔහු පාලමෙන් පල්ලෙහි අඬා බහින ගං දියට කෙළ ගසයි.

කණාමැදිරිත් නිදන සීතල දෙසැම්බරයෙහි අක්බාර් පාලමට නින්දක් නැත්තේය . වසරකට පෙර, සුන්දර කුඩා යුවතියක , සිය සිරුරටත් වඩා බර වූ හදකින් අක්බාර් බැම්ම කෙළවර හෘද සටහනක් තබා සමුගෙන ගියා මතකය. වසරකින් වියපත් ඒ යුවතිය , වඩාත් අඳුරු හද සටහනක් අක්බාර් තාප්පයෙහි නිසංසලේ පින්සලයකින් සිතුවම් කරන්නීය. එහෙත් අනාතුර සැහැල්ලු සිතකින් අඳුරේම මඳ සිනහවක් දෙතොලතර රඳවා සිටින්නීය.

 නිල් පාටට හුරු අලුපාටක් හාත්පස පැතිරෙන්නේ , නිදන සරසවි බිම වැතිරෙන සිහින් සිනිඳු පොරෝනාවක් විලසිනි. සිත තිගැස්සෙයි. මම අක්බාර් බැම්මෙන් මෑත්ව අත බැඳි ඔරලෝසුවෙහි කටු අඳුරේම , අසීරුවෙන් සොයමි.

ඔහු සුරතින් ඔරලෝසු මුහුණත වසා අල්වා මදෙස බලයි . . මම වරක් බලා යලිත් ගඟ වෙත හැරෙමි. ගතවූ මොහොතට , සිතුවාට වඩා වේගයෙන් රෑ වී තිබෙයි.  ගඟ ගලනු නොපෙනෙන තරම්ය. ගඟට සහ රාත්‍රියට අයිතිවාසිකම් කියන්නාක් මෙන් , වවුලන් මුහුණ සමීපයෙන්ම පියාඹන්නේ 'ගෙදර පලයන්, දෑන් රෑ අයිති අපට!' කියා තරවටු කරන්නට මෙනි. මා මෙන් නොව , ඔහු මෙන් නොව , මහවැලි ඉවුරේ බට පඳුරු කොළ හැලී , උස ගොස් වියපත්ව තැන්පත්ව සිටිති. ඔහුත් මාත් හුවමාරු කොට ගන්නා ඇනුම් පද , කවි සහ කෙලි කවට කම් උපේක්ෂාවෙන් ඉවසා , නොදුටුවාක් මෙන් ගලන ගඟ සිය ගමන නොනවතයි.

දොලොස් මසකට පසුව දෑස් හමුවෙයි. මසිත දැඩි වෙයි. අනාරාධිතව එන යන දෙහිතකට නොමනාපවම මියෙන තුරු සිටිය නොහැකිද ?

 'නපුරු වෙලා මේකි' 

එක නෙත් හී බැල්මකින්  වෙඬරු මෙන් දියවී වැගිරුනු ඉපැරණි ගැහැණු සිතෙහි කෙටි කලෙකින් ඉදිව ඇති සවිමත් ප්‍රාකාරයට ඔහු ශාප කරනවා විය හැකිය.

දෑසෙහි දිලිසුම නොනවතියි. මමද එක එල්ලේ බලා සිටිමි. මඳක් සැලුනු හද යලිත් ප්‍රකෘති අන්ධකාරය වටහා ගන්නේය. . එහෙත් අන්ධකාර පෙම් තුර සෙවණෙහි , පරපුරක පෙම් සුසුම් විභවයක් ඇතුවාක් මෙන්ය. කල්ප ගණනාවක එක් තැන් වූ ආදර හැඟුම් ලියැවූ පෙම් වෘක්ෂයේ කුඩා සිදුරු අතරින් පෙරී එන ලා සඳ එලිය සම විනිවිද එන්නත් වෙයි.

'ශික්.. හරියට ඕලෙවල් පන්තිවල කොල්ලො කෙල්ලො වගේ' ඔහු මටත් ඔහුටත් සිනහසෙමින් දෑස් ඉවත හරවයි.

මගේ ලය මත නිසංසලේ මුහුණ හොවා සජීවී නිද්‍රාවකට පත්ව සිටින ඔහුගේ කෙටි හිසකෙස් පිරිමදිමින් මම ශාන්ත මනසින් නිහඬව සිටිමි. පෙම් තුරට මඳක් ඔබ්බෙන් ලා තැඹිලි එලියක් විහිදෙන ලාම්පු කණුව මගේ මතකයෙන් කිසිදා නොමැකෙයි. අක්බාර් පාලම දැන් නොපෙනෙයි. මම කල්පනාවෙන් තොර වෙමි.

එක්කෝ මග වැරදී අතරමංවූ , එක්කෝ සිය දීර්ඝශිශිර නිද්‍රාවෙන් පිබිදුනු කලාමැදිරියෙක්,  තනිව සරන්නට බියෙන්දෝ තණ ගොල්ලෙන් අඩියක් දෙකක් මෑත්ව , එලි නිවා ගෙන යලිත් තණ පඳුරු ගොන්නෙහි හිස ගසාගෙන සැඟව ගනියි. 

'මට බනින්න' ඔහු මගේ ගෙල වෙත ලංව  උණුසුම් දෙතොලින් කොඳුරයි.

කලකට ඉහත මේ පෙම් තුර යටදීම , ඔහුගේ උණුසුම් චුම්බනයකින් පවා අසීමිතව ස්නේහයෙන් මත් වූ මා නම් ගැහැණිය මෙහි හිඳී... එහෙත් මෙදා රැයෙහි සුපුරුදු අතු බඳෙහි හිඳගෙන ඈ , අම්මා කෙනෙකුගේ දයාවෙන් ඒ මඳ කෙඳිරියක් නගන සීතල මුහුණ පිරිමදිමින් , ලය මත නිදන නලලත සිප ගනියි.

කලක් අහිමිව තිබූ මනහර බෝනික්කෙකු අහුමුල්ලකින් යලිත් සොයා ගත් කුඩාවෙකුගේ ප්‍රහර්ශය , ජයග්‍රාහී සිනහව ඔහුගේ දෙතොලේ ඇඳී මැකී යද්දී  , අදිසි ලෝභයක් හදිසියේ පහළ වූ අයුරෙන් යලි යලිත් , තවමත් යලි යලිත් ගැහැණු  ගෙලත් නලලතත් දෙකොපුලත් අතොරක් නොමැතිව සිප ගනී. 

' කී පාරක් බැණුම් ඇහුවා කියලද? නේහ් ? ' 
අනේක වතාවක් ලිහිල් අත් මිටින් මිදී ගිය දඟකාර කිරිල්ලක යලිත් මිටින් ගුලි කොට ගෙන ලයට තද කොටගත් කුරුල්ලා උජාරුව මුසු ඔලොක්කුවකින් කොඳුරයි. 

සීතලෙන් ආතුර මා , සිය සුරතින් බඳට තුරුල් කොට ගෙන,  පොළොව බදා වැතිරුන රුක් මුල් මගහරිමින් , ඔහු නිහඬව පියමනියි. පෙම් තුරු හෙවනැල්ලෙහි අඳුර අවසන් වෙහි. ඉන් ඔබ්බෙහි , තැඹිලි පාට ලා එලි පිටවෙන පහන් කණුව හමුවන සීමාවෙහි,  අපි දෑත් පැටලුම් හැර එකිනෙකාට අයිති සීතලෙහි ගල් ගැසෙන්නෙමු .


රිය තුල උණුසුමින් නොසැලී ගල් වන මා සිත නොතකා , ඔහු අවසන් සිප ගැන්ම ඉල්ලා සිටී.

උදුම්බරා ... හිනැහෙනවා... 

සීතල රාත්‍රිය විනිවිදින තියුණු හී පහරක් වැනි ගී තනුවක් රිය තුල දෝංකාර වෙයි. අල්විස් පොකුණ වටරවුම පසු වෙයි. ඔහු වසරකට ඉහත මතක ආස්වාදනය කරමින් මා සුරත ගෙන ඔහුගේ ලයෙහි හොවා ගනියි.

'කලින් වාහනෙ වගෙ නෙවි , මේකෙ සීට් දෙක අතර දුරයි බට්ටි ' ඔහු කොඳුරයි .
 මම සිනහ වෙමි . දුර ! අතේ දුර !

 උඩපේරාදෙණිය හංදිය පසු වීමට ආසන්නය.

ජීවිතයේ ප්‍රථම වතාවට මම ඔහුගෙන් යමක් ඉල්වීමි. අතීත මතකයක ගැලෙන්නට මට හදිසි දරුණු උවමනාවක් මතුවෙයි. 
' උඩපේරාදෙණිය පැත්තෙ ගිහින් එමුද? '

ඔහු මුවෙහි ලොකු සිනහවක් නැගෙයි. වාහනය අතුරු පාරෙහි වන රජදහනට ඇදෙයි. ඒ අමරණීය හරිත වංගුව පසුවෙයි. රිය ඇදෙයි. මම නිහඬව අඳුර සහ තුරු හිස් අතර මතක ආවර්ජනය කරමි. රූස්ස තුරු පතර පමණක් පෙනෙන පාරාදීසය තුල ටී එම් ජයරත්න දෝංකාර හඬින් 'උදුම්බරා' ගයයි. ආලාපයක් විලසින් හද ඇතිල්ලී යන වයලීන තත් අතීත සීරුම් යලි පාරවයි. ආසන පරතරය නොතකා ඔහු රිය පදවමින්ම පපු තුරුලට මා ඇද ගනියි.

උදුම්බරා හිනැහෙනවා....  
ඉර අඳුරට හැංගෙනවා......
දස දහසක් සම් මස් ඇට .....
 ගිනි ගෙන රත් වුනු දවසක් , 
සැනසෙන එක හැන්දෑවක.. 

මම මහකන්දේ සීතල කපාගෙන 'උදුම්බරා' අසමින් මාරුතිය සරසවි සීමාවට වේගයෙන් පදවමින් සිටිමි. මේ වන්ම සීතල දෙසැම්බරයක දශකයකට පෙර ඇදී ගිය රියක සටහන් දැන් නොසෙවිය හැක්කේය. ඒ රියෙහි හිඳ සිටි රූබර තරුණියද දඟකාර කොලු ගැටයාද නාඳුනන්නන් වී කලක් ගෙවී ගොසිනි.  සිත්වින්දීත් නාරදත් සුව නිදි ලබන සීතල හවස් යාමයෙහි , සිත්වින්දීගේ අම්මා තැඹිලි පාට එලි විහිදන ලාම්පු කණුවක් අසල රිය නවතාගෙන , අමරණීය ප්‍රේම වෘක්ෂයෙන් සෙවණ වූ තණගොල්ලෙන් මතුව එන අහඹු කණාමැදිරි එලියක් සොයන්නීය...

Friday, December 6, 2013

එකත්පස්ව උන් සිත

සිත්වින්දීගේ අම්මා අදත් පේරාදෙණියෙහි යෝධ පෙම් තුර අසල මාරුතියෙහි හිඳ සිටින්න්නීය.
සුක්කානමට හිස ගසා ඈ ඇගෙන්ම පැනයක් අසන්නීය. .

'බට්ටී , උඹ ඇත්තටම එයාට ආදරේ කලාද?
ඔව් මම එහෙම කළා.

'ඒක එයාගෙ ගැන හිතේ පිරිච්චි ලොකූ අනුකම්පාවක්  උදව් කිරීමක් වගෙ හැගීමක් වෙන්න බැරිද? '
එහෙම නැහැ. මම එයාට කවදාවත් අනුකම්පා කලේ නැහැ.

'එහෙමත් නැතිනම් ඒක ඔයාගෙ බොලඳ තරුණ හිතේ එයා ගැන ඉපදුනු වීරත්වයක් වගේ අභිමානයක් වෙන්න බැරිද?  '
මම දන්නෙ නැහැ. ඒක වෙන්න පුලුවන් සමහර විට, එයා මට වඩා ගොඩාක් ඉස්සරහින් හිටි හන්දා. 

-------

ඒ , තවත් හැන්දෑවක , යෝධ පෙම් තුර යට හිඳ, අප දෙඩවූ දෙවන දවස බව මතකය . ඔහු මට අහස පොළව සහ විසල් පෙම් තුරෙහි අමන්දානන්දනීය මිහිරියාව තනියෙන්ම විඳ සැනහෙන්නට ඉඩ දී , දිලී නිවෙන තාරුකා වන් මගේ දෑසට වරින් වර එබෙමින් කවියක් දෙකක් පිස්සුවෙන් වගේ මුමුණයි.

ප්‍රේමකීර්තිගේ 'ඔබෙ දෙතොල් පෙති ලිහී' නමැති ගී පදවැල ... මඳ වේලාවකට පෙර නොමනාප වූ ආදර යුවලකි. කළ නෝක්කාඩුව ගනන් නොගත්තේය. කිසිදු කේන්තියකින් තොරව ඔහු කෙසේ එතරම් සැහැල්ලුවෙන් හිඳීද?

'මගෙ ලොකුම ස්ට්‍රෙන්ත් එක තමා මට තරහ නොයන එක'  ඔබ කීවේ එහෙමය .

මා නිහඬව එකත්පස්ව හිඳ උන්නෙමි. අනෙක් පස මට හිමි නොවූයේය. ඊට කරදරද නොවූයෙමි.
එහෙත් .. තාරුකා විසුළ අහසෙහි අවශේෂ තරුවක්ව ඉන්නට නම් නොපැතුවෙමි. එහෙත් පුන්සඳින් විනිර්මුක්තවූ අකාලිකවම තිර අඩ සඳක දුටු අඩුවක් නොමැති බව සිහිවේ.

ලෝකයේ කිනම් කුරිරු හස්තයක් ඔබට එබඳු අකටයුතුකමක් කලේද? කිසිදා මට මෙතෙක් අසන්නට දහිරියක් නොතිබුණි.

'බට්ටි ... ඔයා මොනවද ජීවිතේ විඳලා තියෙන්නේ...  මම විඳලා තියන දේවල් එක්ක බැලුවාම. ඔයාට නෙමෙයි කිසිම ගැහැණියකට ඒක තේරෙන එකක් නැහැ. එහෙම ජීවිතේක දුශ්කර කම තේරුම් ගන්න බැහැ ලේසියෙන් කෙනෙකුට'

ඔහු මඳ නිහඬතාවයකින් පවසයි. මම ඒ අවස්ථාව මෙතෙක් හිතෙහි පැසෙමින් තිබූ පැනය අසන්නට වේදිකාවක් කර ගනිමි.

'ඇත්තටම ඇයි කොහොමද මෙහෙම උනේ?'
මම ඔහුට එකත් පස්ව හිඳගෙන , උණුසුමින් තොර සිහින් වමතට මඳක් හේත්තු වෙමින් , මෘදු බැල්මෙන් අසමි.

ඔහු අඟලක් මගෙන් ඈතට යයි. මොහොතක බැරෑරුම් මුහුණක් , තත්පරයකින් සිය ආත්මාභිමානය නමැති පොකැට්ටුවෙහි රුවා යතුරු ලාගන්නා වේදනාකර හැඟුමක්, ඔහුගේ මුහුණෙන් මැකී යයි. මොහොතින් යලිත් උඩඟු සැහැල්ලු හුස්මක්. මම පිලිතුරු බලා සිටිමි.

පෙම් තුරෙහි අප හිඳ සිටි හරස් අතට විහිදුනු ශාඛාවෙහි ඔහු හරහට වැතිරී උණුසුම් සුරතත් , නාමික වමතත් හිසට යටින් තබා මඳ සිනහවකින් පිලිතුරු දෙයි.

'දෛවය...  වෙන මොනවද?'

මා ඊට වඩා දිගු ජීවිත කතාවක් බලාපොරොත්තු වීමි.

'ඒ කිව්වෙ ?' කාරුණික කුතුහලයක් මට නොදැනී පැමිණ ඇත. එය නොහොබිනා නොවේද?එහෙත් දිව ඉස්සර වී තිබිණි.

' ඒ කිව්වෙ ඒක එහෙමයි '
 සුසුම වේගයෙන් පිට කළ ඔහු මා දුර්මුඛ කරමින් නැගිටියි

'යමන්... මෙතන තියාගත්තා ප්‍රශ්න අහන්න... යමන් ! '

මම රවා බලමි. ඔහුගේ ජීවිත ප්‍රවාහයෙහි ගසාගෙන ගොස් දිය සුලියකට හසුව නන්නත්තාරව කැරකෙන කුඩා අතු රිකිල්ලක් ලෙසින් මම නන්නත්තාර වෙමි. මට තරහක් එයි. යාමට නොකැමැත්තෙන් ඇවිටිලි දෑසින් හිඳින මගේ ඉණෙන් ඔසවා නැගිටවන ඔහු බඳ වටා සුරත යවා පෙම් තුරු සෙවණින් මා ඇදගෙන පිටවෙයි.

'උඹ නම් හොඳ තුවක්කුවක් තමයි කාට නමුත් '
ඔහු සියල්ල අමතක කොට කොඳුරයි. ඒ පෙම් තුරෙහි සෙවණල්ලෙන් මෑත් වූ තුරු සෙවණෙහි අවසන් වැලඳ ගැන්මෙහි කෙඳිරුමය!

ඒ සංවේදී පැනය මා යලිත් නො අසන්නට සිහි තබා ගනිමි. 

--------

මම 'මා' සහ 'මගේ අයිතීන්' වෙනුවෙන් ඔහු සමග ගෙන ගිය වාග් සටන් සිහිපත් කරමි.


'ඔයාට තේරෙන්න පුලුවන්. ඒත් ප්‍රායෝගිකව මේ ජීවිතේ කාටවත්ම ඉහ ගහන්න පුලුවන් එකක් නෙවි. බිලීව් මී, ඉට්ස් හාඩ්'

මා ඔහුට වේගයෙන් බැඳී යද්දී ඔහු මා සිත බිඳ දැම්මේ වරක් දෙවරක් නොවේ. මා ඉන් කේන්ති ගත්තේද වරක් දෙකක් නොවේ.

'ඇයි මට බැරි ? ඇයි ඔයාගෙ ප්‍රශ්නෙ මොකක්ද? ඔයා එහෙම උනා කියලා ජීවිතෙන් වැටිලා නැහැනේ. එහෙමත් තියෙද්දි මෙච්චර දුර ආව එක... ඒක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් වෙයි කියලා හිතනව කියලද හිතන්නේ... '
බොලඳ මා යතාර්තයක් නොදුටුවෙමි.

'තේරුම් ගන්න. ඔයා තේරුම් නොගන්න, මේ ජීවිතේ කිසිම ගෑනියෙක් තේරුම් නොගන්න , ජීවිතයක් මේක. මම ආදරේට ආසයි. මම මනුස්සයෙක්. ඒත් මට ඔයා ගැන එහෙම බඳින්න ඕනෙ කියන හැඟීමක් ඇවිත් නැහැ. '


මහා හෙණ වරුසාවක් එක පිට එක පිපිරෙන්නාක් මෙන් ගතව ගිය සොඳුරු මතක සිතුවම් එක් ගිනිකූරු පහරින් ඉරී දැවී යන්නාක් මෙන් , සත්‍යවාදී ඔහු මගේ සිතෙහි ශේෂ වී තිබූ ආදර පුංජයත් නිවා දැම්මේ ඒ වදන් කිහිපයෙන් බව මට තවමත් මතකය.

------
කඳුලු පිරි හෝරා කිහිපයක් තිස්සේ මම ඔහුත් මාත් මුල් වරට දුටු මොහොතට සිත ගෙන යමි.

යුග ගණනාවක් .. ඒ රිය තුල මම හිඳ උන්නෙමි. ඒ කෙටි යුග ගණනාවෙහිම අප අන් කිසි දෙයක් මතු කොට කතාකොට රණ්ඩු ඇල්ලුවද , එදිනෙන් පසු , එක්ත්පස්ව ගෙවිය යුතු අනාගතයක අවදානම පිලිබඳ සංවේදී මාතෘකාවෙන් බැහැර වීමු. (ඇත්තටම එතරම් දුර සිහින මැවුවේ මා පමණකි)


මගෙ සිත ඒ මුල්ම හමුවේ අතීතයට දිව යයි...

වැඩ නිමවී එලියට බසින මට පරිගණක තිරයෙන් දහස් වර දැක හුරු පුරුදු දෙනෙතක් කාර්යාල ලොබියෙහි දැල්වී මා එනතුරු බලා හිඳී ! ඔහු මිස මා 'එය' නොහැඳිනීමි.

දින ගණනාවකට අනතුරුව කෝපි කෝප්පයකට අපි යලිත් හමු වීමු. යලිත් මා එය නොහැඳිනූ බවම කියමි.  සැබවින්ම මා ආලයෙන් අන්ධ වූවාද? නොදනිමි.

බක් මාසයේ අවුරුදු නිවාඩුවෙහි දිනෙක , මම ඔබ සහමුලින්ම දැක ගතිමි. රන්දෙණිගල දක්වා ගිය රිය චාරිකාවෙහි අතොරක් නොමැති වදන් අතරෙහි මම ඔබ දැක ගතිමි . පුදුමය නම් එහි අරුමයක් මට නොදැනීමමය. ඔබ එදිනෙන් පසු මගේ වීර ප්‍රතිරූපය වූවාද? නැත. අනුකම්පාවට බඳුන් වූවාද? නැත. උවැසියක සේ මම එකත්පස්ව හුන්නෙමි. එකත්පස් ජීවිතය පිලිබඳ බොලඳ සිහින මැව්වෙමි.

ඔහු තටු සලා පියා සලන කුරුල්ලෙකු හෙයින්ම මගේ කුටුම්භ ප්‍රාර්තනාවන් අමනෝඥ බව මා වටහා ගන්නේ කාලයත් සමගය. සැබැවින්ම ඒ කොතරක් කලකට පෙරද ? .

-------

'මගේ අම්මේ , මොනවද ඔය හැටි කල්පනා කරන්නෙ ?'
නාරදගේ හැඟුම්බර ආදර ඇමතුමට මම ගැස්සෙමි. මධ්‍යම රාත්‍රියෙහි , කෑලි කැපිය හැකි අමාවක අඳුරෙහි ගැලී සයනයෙහි සැතපී හිඳින මගේ දෑස් විවර බව ඔහු දකින්නේ කෙසේද? මගේ සිතෙහි එක් කලෙක දියවී වැගිරුනු ආදර කුටීර බිතක එක් ගඩොලක් දෙකක් එහෙ මෙහෙ වී සෙලවෙනු නාරද හඟින්නේ කෙසේද?

ඔහුට බොරු කියන්නට සිත නොනැමෙයි.  ඇත්ත නම් විස කටු තුඩු , ඒ බෝසත් ලෙයින් සැදි පපු කුහරයෙහි අනින්නට මට නොහැකිය. කල්පයක් තිස්සේ එකත්පස්ව 'ඔහු' අසලින් ඉන්නට මා මැවූ හීන නාරද තරම් දන්නා කෙනෙක් තවත් වේද? වරදකාරී සිතිවිල්ලක් සමගින් සුසුමක් පිටවෙයි.

'මයෙ අම්මා, ඔයා දුක් වෙන්න එපා. සමහර දේවල් එන විදියට නේද බාර ගන්න ඕනෙ?'
ඔහුට සිතින් ද්‍රෝහි වන ගැහැණිය මම වෙමි. එය මගේ මිනිස් හදවත යැයි ඔහු මටම සැනසිලි වදන් කියන්නේය. ඔහුගේ පාද පරිචාරිකාව වූ මම , ඔහුගේ සෙනෙහසෙහි උත්තුංග ඵලය වූ සිත්වින්දීගේ මව් වූ මම අතීතය සිතෙන් හල යුතු නොවේද?

මගේ මනස සැහැලු වෙයි.  ගතද නිවී යයි. මෛත්‍රියෙන් සිත පිරෙයි. ඔහුට මම වෛර නොකළෙමි. තව දුරටත් නාරද මිස ඔහු මගේ ලොවෙහි නැත. අතීත අගාධයක මිහිදන්ව හුන් සජීවී ගිණි අඟුරක් වරින් වර සිතෙහි ඉස්මතු වන 'ඔහුගේ ස්මරණය'  කුඩා ගිනි පුලිඟු මෙන් සසල හද උණුසුම් කරන බව ඇත්තකි. ඉන් කලබල නොවන්නට තරම් දැමුණු සිතැති නාරදගේ පපුතුරෙහි මම හිස තබා කෘතවේදීව කොඳුරමි.

'ආදරේ කියන්නෙ ඔයාගෙ ඉවසීමට තාත්තේ. ඔයා කියන්නෙ මගෙ ජීවිතේ.. ඒත් මම අතීතෙට ද්‍රෝහි උනේ නැහැ තාත්තේ. ඒක වරදක් නෙවෙයි නේද?'

ඔහු මා වැලඳ ගනියි.

'ඔයා හොඳ ගෑනියෙක්. හිතෙන් දොස් කියා ගන්න එපා. ඔයා ආදරේ මට බව මම හොඳටම දන්නවා මගෙ අම්මා...  නිදියගන්න... '

මම බිලිඳියක මෙන් කිසිදු වික්ෂිප්ත හැඟුමකින් තොරව ඒ දැමුණු පිය උණුසුමෙහි දෑස් පියා ගනිමි.