Friday, January 11, 2013

එක හැන්දෑවක ..

හාත්පස අඳුර හෝ එලිය නොපෙනෙන විසල් පෙම් තුරු වියණ වෙත හීනි රතු හිරු බිඳිත්තක් වැටෙයි. එහෙත් එයින් විසල් තුරෙහි අප හිඳ සිටි අතු කඳට එලිය නොවැටෙයි.

එක් පයක් පොළවෙහි ගසාගෙන,  අනෙක් පය අවිනීත නොසැලකිල්ලකින් අතු ක‍ඳෙහි රඳවාගත් හෙතෙම , දෑත් හිසට යටින් තබාඑන සුවසේ තුරු හෙවණෙහි නිදයි. නොනවත්වා ඇරෙන වැසෙන ඇස් වලින් අහස සහ තුරු හිස දෙස බලා සිටියි. නිහඬතාවය බි‍ඳෙන්නේ ඔහුගේ චංචල පයට පැද්දෙන ගසෙහි කොල නැලවෙන සිලි සිලියෙනි.

මම ඔහුට නුදුරෙන් එම අත්තෙහිම හිඳගෙන දෙපා පද්දමින් උඩ බලාගෙන සිටියෙමි. මඳ සීතලක් හාත්පස පැතිරෙයි. දවසම උණුසුමින් තබා සිය රාජකාරි නිමවා අහස් දොර‍ටුවෙහි යතුරු කැ‍රැල්ල කරකවමින් හිරු බලා සිටින්නේ සඳට ඉඩ පවරන්නටය. සඳ කොතරම් සුන්දර වූවත් , නොතිත් ආලයෙන් බැඳී ගත් දෙසිතකට ආ ගමන්ම පෙන්වන්නේ තරව‍ටු බැල්මකි.

'ගෙදර පලයන්!' සඳ නොකියා කියයි.

වවුල්ලුන්ට අහස හිමි වන්නේ සැඳෑ අඳුර සමගය.. විසල් තුරට පිට දී  දැහැනක සමවැදී සිටින ඔහුට හෝ මට ගෙදර යාමට තරව‍ටු කරන්නට ලාවට මෝදුවූ සඳට තවමත් සිතී නැතුවා වාගේය.මා සිටියේ බියෙනි. කොයි වේලේ 'ගෙදර යං' කියා ඔහු කියත්දැයි බියෙනි. එහෙත් ඔහු එසේ කීවේ නැත. ඒ වෙනුවට අහස දෙස බලාගෙන , විටින් විට මා දෙසත් බලමින් , ගස් අත්ත පද්දමින්  ඔහු සිටියා පමණකි.

සිත හරියට වැවක් වැනි.  ප්‍රහර්ශයේ සිතුවිලි සිතෙහි පිරෙන්නට වූයේ වැව් බැම්මට බදාලිය නොහැකි තරම් උස් උසකිනි.  හිතෙහි සන්තුෂ්ඨිය උස්මුරුත්තා හැදෙන තරම්ය. නිහඬ, අන්ධකාර, ගුප්ත, තුරු හෙවනක් යට දෙදෙනෙකු භාවනාවක!

Life is Beautiful!  විඳවන්න එපා. Feel This Nature ! Its heaven ! 

ඔහුගේ කාව්‍යාත්මක කෙඳිරිය සන්ධ්‍යාව නමැති කැන්වසය මත ඇසිල්ලකින් ගැසූ ක්ෂණික පින්සල් පහරක් වැනි විය. ඒ නිමේෂය යලි යලිත් rewind කර පින්සල් පහරේ රූ සිරිය Slow Motion කොට මම ආයි ආයිත් නරඹන්නට ආශා වෙමි. සිරුරෙහි රෝම කූපයක් පාසා සන්ධ්‍යාවෙහි විචිත්‍ර මෝහනය ආස්වාදනය කරමින් ගතවන මොහොතට ලොබ බඳින්නට වෙයි. ඉදිරියෙහි එන අඳුර හිතට වදයකි.

මම දිගු හුස්මක් හෙළමි. අතු නිසල වන්නේ මොහොතකිනි.. බිම බලා හිඳින මගේ දෑස් දැකිය නොහැකිව , අකම්පිත බැල්මක් ආරූඪ කර ගනිමින් , ඔහු දිගා වී සිටින අතු මතින් නැගිට මා මෙන්ම දෙපා පහළට හෙලා හිඳ ගනියි.

ඉක්බිති බඳ බොහෝ සෙයින් නමා විසුලු අභිරූපණයෙන් , නැමී මගේ දෑස් එක එල්ලේ නරඹයි. නිහඬතාවය වදයක් නොවන්නේ පහසුවෙන් කියවිය හැකි හදවත් දෙකකටය. වචන වෙනුවට සිතුවිලි, බැලුම් සහ ඇස් දෙඩවීල්ල කරගනියි.

'නැතිවෙන්න යන දේට දුක් වෙන්න පුරුදු වෙන්න එපා බට්ටි. මේ ඉන්න මොහොතෙ දැනෙන සතුටෙන් තෘප්තිමත් වෙලා සං‍තෝසෙන් ඉන්න ඉගෙන ගන්න. Life is too short to suffer ! You suffered enough! But Not anymore ! '

මගේ මුවින් තවත් හුස්මක් පිටවෙයි...

නොරුස්නායෙන් ඔහු එදෙස බලා සිටියි. . මම දුක තැවරුනු මුහුණෙන් , විසල් තුර අස්සෙන් පිටත ලොවට එබෙමින් කොඳුරමි.

'කරුවල වෙනවා. යමු නේද?'

ඔහු මඳ සිනහවකින් මා දෙස බලා හිඳියි.

' මම දන්නව ඔයා කොච්චර මෙහෙම ඉන්න ආස උනත් ඔයාට මේ චාන්ස් එක ලැබිල නැහැ කියලා. ඇති උනාම කියන්න.මට පරක්කු වෙන්නෙ නැහැ'

මගේ දෑස් තෙත් වෙයි. සතුට සමග දුක මෝදු වෙයි. ඔහු ආයිමත් නැගිටියි.

'I told you not to think beyond!'

ඔහු මගේ හැම ඉරියව්වක්ම කියවීම දුකකි. ඒ ඇස් ඉදිරියෙහි සිතිවිල්ලකට හැංගෙන්නට ඉඩක් නැතිය.සුන්දර සොබාදහමට ආසක්ත වී මෝහනය වූ සිත, කෙමෙන් කෙමෙන් යථා ලෝකයට එන'යුරු හඟිමි. සිතේ මෝදු වෙන නොසැනසිල්ල අඳුර ගැන ඉඟි කරයි. මට ගෙදර යන්නට අවැසිය. මා සිත කියවමින් , ඔහු නැගී සිටියි.

යංද.. දැන් ඇතිද?

මම සිනහසෙමින් නැගිටිමි. ස්පර්ෂයකිනුදු ඉඳුල් නොවූ දෙසිතකට ආලයෙන් මෙතරම් මත් විය හැකිද? අප දෙදෙනා මත් වූයේ ගුප්ත අලංකාරයෙන් ආඪ්‍ය වූ සොබා දහමටද? නො එසේනම් අසිරිය එක සේ විඳ ගන්නට හුරුව සිටි දෙහදක් මුණ ගැසීමේ ප්‍රහර්ෂයටද?

උත්තර සෙවීමෙන් වෙහෙස නොවී මම ජීවිතයේ පළමු වතාවට වත්මනෙහි ආස්වාදය විඳ ගතිමි.

--------

දුරකතනයෙහි 'ආරාධනා' ගී රිද්මයෙන් මම තිගැස්සෙමි.

'හෙලෝ .. සිත්වින්දීගෙ අම්මි නේද? මම කුසලා මිස්. දූ අම්මි කෝ අහනවා'

ඉදිරියෙහි වූ අක්බාර් පාලමත් විසල් තුරත් එක මොහොතෙන් බොඳ වෙයි. ඔර්ලෝසුව දෙස කල්පනාවකින් තොරවම බලමින් මම රිය පණ ගන්වමි.
මීටරයක් දෙකක් පසුපසට ඇදුනු පසු යලිත් රියෙහි තිරිංග තද වෙයි. කෝල් එක!

'අහ් මිස්.. සොරි මිස්. අම්මි ලඟම එනවා කියන්න. චූටි ගමනක් ගියා.'

ඒත් ඇහෙන්නේ සිඟිති කටහඬකි.

'අම්මී, කෝ ඔයා? '

'එනව සුරංගනාවි... අම්මි පොඩි දුර ගමනක් ගියානෙ. හැබැයි දැන් මේ හොඳටම ලඟ ඉන්නෙ'

මම සුපුරුදු වේගයෙන් අක්බාර් රතු අහසෙන් මැකී යමි...

ඒ  තුරුණු අතීතයට මම පෙම් කළෙමි. ඒ තරම්ම නාරදගේ වර්තමානයටද  පෙම් බඳින ගැහැණිය මම වෙමි. සිත්වින්දී ඇකයේ හොවාගෙන ගී ගයමින් මහකන්දේ නිවස වෙත වේගයෙන් රිය පදවන ලාබාල මවකි.  

ඒ අපූර්ව ගැහැණිය දෙස , අමරණීය ප්‍රේම වෘක්ෂය සිය වියපත් දෑසින් බලා හිඳියි. සුරතලියක් ඇකයේ හොවාගෙන වේගයෙන් ඇදෙන මාරුතී රථය කලා ගාරය පසු කරයි.

2 comments:

  1. හුඟක් ම අලුත් බ්ලොග් එකක් වාගෙ සුබ සහ ජය!!! වර්ඩ් වර්ෆිකේෂන්
    සෙටින්ග්ස් වල කමෙන්ට් සෙටින්ස්ග් වලට ගිහින් ඉවත් කරන්න... නැත්තම් කමෙන්ට් දාන අය ට කරදරයි... එතකොට එන්නෙ නෑ... කට්ටිය... ආවත් කමෙන්ට් කරන්නෙ නෑ... :) දිගටම ලියන්න... වැදගත් දෙයක් වුණත් නොවැදගත් දෙයක් වුණත්, ඔයා තෘප්තිමත් නම් කවුරු මොනා කිව්වාත් ගණන් ගන්න එපා.. දිගු කල් දිනේවා!!!!

    ReplyDelete
  2. අක්කා, මට හරි සතුටු දවසක්.කවුරු හරි කෙනෙක් මගෙ පොත කියවල.පින් සිද්ද වේවා.

    ReplyDelete