Friday, January 11, 2013

එක හැන්දෑවක ..

හාත්පස අඳුර හෝ එලිය නොපෙනෙන විසල් පෙම් තුරු වියණ වෙත හීනි රතු හිරු බිඳිත්තක් වැටෙයි. එහෙත් එයින් විසල් තුරෙහි අප හිඳ සිටි අතු කඳට එලිය නොවැටෙයි.

එක් පයක් පොළවෙහි ගසාගෙන,  අනෙක් පය අවිනීත නොසැලකිල්ලකින් අතු ක‍ඳෙහි රඳවාගත් හෙතෙම , දෑත් හිසට යටින් තබාඑන සුවසේ තුරු හෙවණෙහි නිදයි. නොනවත්වා ඇරෙන වැසෙන ඇස් වලින් අහස සහ තුරු හිස දෙස බලා සිටියි. නිහඬතාවය බි‍ඳෙන්නේ ඔහුගේ චංචල පයට පැද්දෙන ගසෙහි කොල නැලවෙන සිලි සිලියෙනි.

මම ඔහුට නුදුරෙන් එම අත්තෙහිම හිඳගෙන දෙපා පද්දමින් උඩ බලාගෙන සිටියෙමි. මඳ සීතලක් හාත්පස පැතිරෙයි. දවසම උණුසුමින් තබා සිය රාජකාරි නිමවා අහස් දොර‍ටුවෙහි යතුරු කැ‍රැල්ල කරකවමින් හිරු බලා සිටින්නේ සඳට ඉඩ පවරන්නටය. සඳ කොතරම් සුන්දර වූවත් , නොතිත් ආලයෙන් බැඳී ගත් දෙසිතකට ආ ගමන්ම පෙන්වන්නේ තරව‍ටු බැල්මකි.

'ගෙදර පලයන්!' සඳ නොකියා කියයි.

වවුල්ලුන්ට අහස හිමි වන්නේ සැඳෑ අඳුර සමගය.. විසල් තුරට පිට දී  දැහැනක සමවැදී සිටින ඔහුට හෝ මට ගෙදර යාමට තරව‍ටු කරන්නට ලාවට මෝදුවූ සඳට තවමත් සිතී නැතුවා වාගේය.මා සිටියේ බියෙනි. කොයි වේලේ 'ගෙදර යං' කියා ඔහු කියත්දැයි බියෙනි. එහෙත් ඔහු එසේ කීවේ නැත. ඒ වෙනුවට අහස දෙස බලාගෙන , විටින් විට මා දෙසත් බලමින් , ගස් අත්ත පද්දමින්  ඔහු සිටියා පමණකි.

සිත හරියට වැවක් වැනි.  ප්‍රහර්ශයේ සිතුවිලි සිතෙහි පිරෙන්නට වූයේ වැව් බැම්මට බදාලිය නොහැකි තරම් උස් උසකිනි.  හිතෙහි සන්තුෂ්ඨිය උස්මුරුත්තා හැදෙන තරම්ය. නිහඬ, අන්ධකාර, ගුප්ත, තුරු හෙවනක් යට දෙදෙනෙකු භාවනාවක!

Life is Beautiful!  විඳවන්න එපා. Feel This Nature ! Its heaven ! 

ඔහුගේ කාව්‍යාත්මක කෙඳිරිය සන්ධ්‍යාව නමැති කැන්වසය මත ඇසිල්ලකින් ගැසූ ක්ෂණික පින්සල් පහරක් වැනි විය. ඒ නිමේෂය යලි යලිත් rewind කර පින්සල් පහරේ රූ සිරිය Slow Motion කොට මම ආයි ආයිත් නරඹන්නට ආශා වෙමි. සිරුරෙහි රෝම කූපයක් පාසා සන්ධ්‍යාවෙහි විචිත්‍ර මෝහනය ආස්වාදනය කරමින් ගතවන මොහොතට ලොබ බඳින්නට වෙයි. ඉදිරියෙහි එන අඳුර හිතට වදයකි.

මම දිගු හුස්මක් හෙළමි. අතු නිසල වන්නේ මොහොතකිනි.. බිම බලා හිඳින මගේ දෑස් දැකිය නොහැකිව , අකම්පිත බැල්මක් ආරූඪ කර ගනිමින් , ඔහු දිගා වී සිටින අතු මතින් නැගිට මා මෙන්ම දෙපා පහළට හෙලා හිඳ ගනියි.

ඉක්බිති බඳ බොහෝ සෙයින් නමා විසුලු අභිරූපණයෙන් , නැමී මගේ දෑස් එක එල්ලේ නරඹයි. නිහඬතාවය වදයක් නොවන්නේ පහසුවෙන් කියවිය හැකි හදවත් දෙකකටය. වචන වෙනුවට සිතුවිලි, බැලුම් සහ ඇස් දෙඩවීල්ල කරගනියි.

'නැතිවෙන්න යන දේට දුක් වෙන්න පුරුදු වෙන්න එපා බට්ටි. මේ ඉන්න මොහොතෙ දැනෙන සතුටෙන් තෘප්තිමත් වෙලා සං‍තෝසෙන් ඉන්න ඉගෙන ගන්න. Life is too short to suffer ! You suffered enough! But Not anymore ! '

මගේ මුවින් තවත් හුස්මක් පිටවෙයි...

නොරුස්නායෙන් ඔහු එදෙස බලා සිටියි. . මම දුක තැවරුනු මුහුණෙන් , විසල් තුර අස්සෙන් පිටත ලොවට එබෙමින් කොඳුරමි.

'කරුවල වෙනවා. යමු නේද?'

ඔහු මඳ සිනහවකින් මා දෙස බලා හිඳියි.

' මම දන්නව ඔයා කොච්චර මෙහෙම ඉන්න ආස උනත් ඔයාට මේ චාන්ස් එක ලැබිල නැහැ කියලා. ඇති උනාම කියන්න.මට පරක්කු වෙන්නෙ නැහැ'

මගේ දෑස් තෙත් වෙයි. සතුට සමග දුක මෝදු වෙයි. ඔහු ආයිමත් නැගිටියි.

'I told you not to think beyond!'

ඔහු මගේ හැම ඉරියව්වක්ම කියවීම දුකකි. ඒ ඇස් ඉදිරියෙහි සිතිවිල්ලකට හැංගෙන්නට ඉඩක් නැතිය.සුන්දර සොබාදහමට ආසක්ත වී මෝහනය වූ සිත, කෙමෙන් කෙමෙන් යථා ලෝකයට එන'යුරු හඟිමි. සිතේ මෝදු වෙන නොසැනසිල්ල අඳුර ගැන ඉඟි කරයි. මට ගෙදර යන්නට අවැසිය. මා සිත කියවමින් , ඔහු නැගී සිටියි.

යංද.. දැන් ඇතිද?

මම සිනහසෙමින් නැගිටිමි. ස්පර්ෂයකිනුදු ඉඳුල් නොවූ දෙසිතකට ආලයෙන් මෙතරම් මත් විය හැකිද? අප දෙදෙනා මත් වූයේ ගුප්ත අලංකාරයෙන් ආඪ්‍ය වූ සොබා දහමටද? නො එසේනම් අසිරිය එක සේ විඳ ගන්නට හුරුව සිටි දෙහදක් මුණ ගැසීමේ ප්‍රහර්ෂයටද?

උත්තර සෙවීමෙන් වෙහෙස නොවී මම ජීවිතයේ පළමු වතාවට වත්මනෙහි ආස්වාදය විඳ ගතිමි.

--------

දුරකතනයෙහි 'ආරාධනා' ගී රිද්මයෙන් මම තිගැස්සෙමි.

'හෙලෝ .. සිත්වින්දීගෙ අම්මි නේද? මම කුසලා මිස්. දූ අම්මි කෝ අහනවා'

ඉදිරියෙහි වූ අක්බාර් පාලමත් විසල් තුරත් එක මොහොතෙන් බොඳ වෙයි. ඔර්ලෝසුව දෙස කල්පනාවකින් තොරවම බලමින් මම රිය පණ ගන්වමි.
මීටරයක් දෙකක් පසුපසට ඇදුනු පසු යලිත් රියෙහි තිරිංග තද වෙයි. කෝල් එක!

'අහ් මිස්.. සොරි මිස්. අම්මි ලඟම එනවා කියන්න. චූටි ගමනක් ගියා.'

ඒත් ඇහෙන්නේ සිඟිති කටහඬකි.

'අම්මී, කෝ ඔයා? '

'එනව සුරංගනාවි... අම්මි පොඩි දුර ගමනක් ගියානෙ. හැබැයි දැන් මේ හොඳටම ලඟ ඉන්නෙ'

මම සුපුරුදු වේගයෙන් අක්බාර් රතු අහසෙන් මැකී යමි...

ඒ  තුරුණු අතීතයට මම පෙම් කළෙමි. ඒ තරම්ම නාරදගේ වර්තමානයටද  පෙම් බඳින ගැහැණිය මම වෙමි. සිත්වින්දී ඇකයේ හොවාගෙන ගී ගයමින් මහකන්දේ නිවස වෙත වේගයෙන් රිය පදවන ලාබාල මවකි.  

ඒ අපූර්ව ගැහැණිය දෙස , අමරණීය ප්‍රේම වෘක්ෂය සිය වියපත් දෑසින් බලා හිඳියි. සුරතලියක් ඇකයේ හොවාගෙන වේගයෙන් ඇදෙන මාරුතී රථය කලා ගාරය පසු කරයි.

Wednesday, January 9, 2013

කණාමැදිරි එලි

සුපුරුදු රිය නැවතුමෙහි මම ආයෙත් හවසක නැවතී සිටිමි.

මට හෝරා දෙකක් මෙහි කල් තිබේ. ඒ හෝරා දෙක තුල අන් එකද  සිතුවිල්ලකින්වත් මගේ මනසට ආලෝකය නොවැටිය යුතු වෙයි. එහෙයින් මම යෝධ පෙම් තුර අස්සෙන් පෙනෙන අක්බාර් පාලමට පමණක් එබෙමින් සිතෙහි අනෙකුත් ජනෙල් පියන් වසා දමමි.

දිවා කල පොළොවෙන් උණා ආ දාහය සෙමෙන් සැන්දැවේ සිසිල සමග මුසු වෙයි. ඒ වෙලාව තුල තිබෙන්නේ උණුසුමත් නැති සිසිලත් නැති මලානික පෙනුමකි. හැඟුමකි. එහෙත් එකල ඒ හැඟුමට මම බොහෝ සෙයින් ආශා කළෙමි. මොහොතකින් එලඹෙන කළුවරට මගේ සමාධිය බිඳිය නොහැකි වූයේය.

එදා අක්බාර් පාළමෙහි රළු බැම්මට නිතර මගේ වැලමිට සීරුනේය. එහෙත් ඒ රළු බවටත් මම ආශා කළෙමි. කටුක සීතලටත් ආශා කළෙමි. ඔහු සමග එහි විත් නැවතී බලා සිටි හැම දාකම පාහේ වැහි වැ‍ටුනේය.ඒ නිසා ඒ බැම්ම හැම වෙලේම තෙත්ව තිබුනි. ඒ මත දෙවැලමිට ඔබා ඈත පේන උණ පඳුරු දිහාවේ බලා සිටින මගේ දැහැන බිඳින්නේ ඔහු ගං දියට ගසන කෙළ බිඳකි. මගේ සමාධිය බිඳී යනු දැක්ම ඔහුට සහනයකි.

ඉනික්බිති අපි තරඟයට කෙළ ගසමු. කෙල බිඳුව ගං දියෙහි අන්තරස්දාන වෙන හැටි බලා ඉඳීම අපට එපා වූයේ නැත. කොටින්ම අප වගේම අපේ නොමනා පුරුදුත් එකිනෙකාගේ ප්‍රසාදය දිනා  සිටියෝය. එහි ආ පළමු දා මා හෙල්මටයට නිකට තබාගෙන රක්ත වර්ණ ආකාසයට දෑස් දල්වන්නට වීමි.

 Let's see if you are lucky !

කපට බැල්මකින් ඔහු සිනහ වෙයි. කෙල බිඳිත්තක් අක්බාර් තාප්පයේ සිට ගං පතුලට විදෙයි. එදෙස බලා මමද කෙල බිංදුවක් හලන්නට වලි කමි. ඊලඟ මොහොතෙහිදී කෙල බිඳිත්ත ලම්බාකාරව කැඩී විසිරී ගං පතුල සොයයි.. මගේ සිත උණුසුම් වෙයි. නිහඬ තාවයට මා බිය වන්නේ ඒ උණුසුම කොතෙක් ඔහුට දැනේදැයි සිත හොරගල් අහුලන හෙයිනි.ඔහු නිදහස් අහසට කොඳුරයි !

Life is beautiful! I knew you missed this!

 අහස දෙස බලා ඔහු මුමුණයි.

 Yah!

උණ පඳුරු , වේගවත් ගඟ දිය , රතු අහස , අඳුර ...මම වශීකෘතව හිඳිමි. ඔහුගේ කම්මුල් සෙමෙන් මා උරහිස් මත , පිරිමැදෙයි. තවදුරටත් මා ලාදුරු රෝගියෙකු නොවේ. එහෙත් සිත මහා යුද ගැ‍ටුමකය. හැඟීම් සමග පොර බැදීමෙන් දිනක් පුරා වෙහෙස පත් වූයෙමි. එහෙත් ජීවිතය යනු මේ මොහොත පමණක් නොවේ. ජීවිතය තුල දිගු නවකතාවක් තිබේ. පි‍ටුවක් නම් ඉරා විසි කළ හැකිය. පරිච්ඡේදයක් එසේ නොවේ. කවදා හෝ මේ පොත කියවන්නෙකුට පරිච්ඡේදයක් ඉරා හැංගූ පොතක් දීම පාපයකි. එහෙයින් පරණ පි‍ටු මතම කොනක් වෙන් කොට කුඩා හැඟුමක් පමණක් ලියා තැබුයෙමි. එහෙත් .... ?

අලුත් පරිච්ඡේදයක්? නැහැ. එක පි‍ටුවක් ? එක රූලක් ? එක අකුරක් ? සිත සමග මොලය ලොකු සමීකරනයක් විසඳයි. හැමදාමත් වාගේ සිත ජය ගනී. එය පක්ෂග්‍රාහී තීරණයකි.

හැරවිය යුතු තරම් උණුසුමකින් පීඩා විඳින මුහුණ නොහැරෙයි. මනුස්ස හැඟුම අභිබවා ආත්ම රුධිරගත උද්දච්ච කම් උණයි.

 'මහ ආඩම්බරකාර කෙල්ලෙක්'

 හෘදය විනිවිද යන කෙඳිරිල්ලක් ඇසෙයි. මම  තෘප්තියෙන් අඳුරට සිනහසෙමි.

මගේ සිත නිරතුරු පෙම් කරණ ඒ ආක්‍රමණශීලී පිරිමි ගතිය ඔහු තුලින්  ඉස්මතු වන්නට මගේ හිනහව පමණක්ම සැහෙයි. බලෙන් මගේ නිකටෙන් අල්වා ගන්නා දෑත් , සොඳුරු බලහත්කාරකමට මා නැමෙන තුරුම මා නොමුදවයි. මගේ ලොකු කම්  සුඛනම්‍ය වී ඇත්ත  ගැහැණිය මතු වෙයි.

මොහොතකට විනා දිගු විනාඩියකට තරම් පහස දීමට උද්දච්ච ගැහැණු සිත ඉඩ නොතබයි. ඔහු හරඹ කොට අමනාපව වෙහෙසව දිනා ගන්නා හාදුවට මා කවදත් පෙම් කලෙමි. එහි ඇති රිදවීමටද රහසේ පෙම් කළෙමි. එහෙත් මොහොතින් යලිත් මුහුණ හරවා ගන්නා මම පෙරට වඩා අඳුරුව ඇති  අහසටත් උණ පඳුරු වෙතටත් දෑස් අලවා ගනිමි.

 Too proud! Too much!

ඔහු කවදාවත් කිසිත් ඉල්වූයේ නැති. බාල්දු වූයේත් නැති. එමෙන්ම රිදවූයේත් මට ඇති පමණටමය.ඔහු කියවූ හිත , නාරද නොකියවූයේය.

ඔහුගේ උද්දච්ච ඇස් , මගේ සුන්දරත්වය හමුවේ නොයිවසිලිමත් වූ  පිරිමි කම, අන්ද මන්ද කිරීමෙන් මම රහසිගත තෘප්තියක් ලැබීමි. ඒ තෘප්තියෙහි ගිලෙන්නට එදා ඔහු මට අවසර නොදුන්නේය. යලිත් ඒ පිරිමි අත මගේ නිකට හරවන්නට බලවත් උත්සහයක...

Look at me !   ඔහු විධාන කරයි.

මම ඔහු දෙස බලා කිසිත් නොකියා ඒ ඇස් මතම ඇස් අලවමි. විනාඩියක් පමණ එදා ලෝකය නතර වී තිබිණි.වවුලන් හිස වසා කෑ කොස්සන් දෙද්දී , අදද සිහිපත් කළ හැකි ප්‍රහර්ෂයක ගිලී ජීවිතය මා බඳුනක නතර විණි.  ඔහුගේ දෑසෙහි වූයේ දෙවන සිප ගැනීමෙහි ආරාධනාව නොවේ. පළමුව සිප ගැන්මෙහි ශේෂ මතට හෙලූ පරීක්ෂාකාරි බැල්මකි.

Now I can see the miracle!

ඔහු නොසෙල්වී කොඳුලේය . බඳ වටා දෑත් යවා වැරෙන් මා ලංකොටගෙන , ඒ නිහඬ උනුසුමෙහි ගිල්වූ හෙතෙම අනෙක් අතින් සෙමෙන් මගේ මුහුණ ගං දියත් උණ පඳුරු වෙතත් හරවා , කන් පෙති අසල හුස්මක් පිට කළේය.

Look  ! can you see the miracle?

අන්ධකාරයත් , ඔහුගේ කෙඳිරීමත්,  නිහඬ බවත් , වවුලන්ගේ කචබචයත් මැද්දෙහි , ආශ්චර්යය මට සොයා ගන්නට කවදත් වාගේ පමා වූයේය.

උණ පඳුරු මත ඇලවූ දැස් ඉදිරියෙහි කෝටි ගණනක් සිඟිති එලි නිවී දැල්වුනි. එය මගේ හෘද සැනකෙලියෙහි අතුරු පලයක් වශයෙන් මැවුනු ඉන්ද්‍රජාලික මායාවක්ද ? නො එසේනම් දැසෙහි දොසක්ද ? නො එසේනම් ඒ සරාගී කෙඳිරියෙහි ‍රැඳි විස්මිත බලයකට නතුවී මැවූ ඉන්ද්‍රජාලයක්දැයි වටහා ගත නොහැකිව මම අන්ද මන්ද වූයෙමි.

කෝටි ගණනක් කණාමැදිරි එලි එකිනෙක නිවී දැල්වෙමින් මා නිලංකාර වී සිටියෙමි. උණ පඳුරු එකිනෙක නිවි නිවී දැල්වෙන සිඟිති එලි පුංජ අස්සෙහි නිල් එලි දහරා තවරන්නට වූයේය ,  ගං දිය පවා නිල් එලියෙන් නහවන්නට තරම් සිඟිති කණාමැදිරි එලි කෝටි ගණනක් නිවි නිවී දෑල් වෙන්නට වූයේය ! ඒ අපූර්ව කණාමැදිරි සැනකෙලියත් ඒ එල්ලේ දැල්වෙන මගේ මුහුණෙහි කාන්තියත් එකවර නරඹමින් ඔහු ජීවිතයෙහි නොතිත් කෙඳිරූ වදන් යලි මතුරන්නට වූයේය!

You are a little miracle! But sure he is a henry kaldera leave a miracle like you  !

---

පෙර කලෙක එක් බොහෝ සීතල රාත්‍රියක , නිහඬ යෝධ තුරු පතරින් සැනෙක මතුවූ කණා මැදිරියා මට සිහි නොකොට නොසිටිය හැකි වූයේය! හොර රහසේම අඳුරේම කිට්‍ටු කොට ,  දැසට මිලිමීටර කිහිපයක් නුදුරෙහි සිය පහන් එලිය දල්වා මා අන්ද මන්ද කළේ ඒ කණාමැදිරියාය. ඔහු ඒ කණාමැදිරියා දෝතින් ගෙන , මගේ කුර්තාවෙහි උරහිසෙහි ‍රැඳවූයේය.

Beautiful Miracle na?

ඒ ඉන්ද්‍රජාලික ආලෝකයෙන් මා නිරුත්තරව හිඳිද්දීම කණාමැදිරියා සිත් පිත් නැති සේ , එලි නිවා ගෙන පියඹා ගියේය. කෙල්ලෙකුගේ කුර්තාවෙහි උරහිසෙහි නැංගුරම් ලන්නට තරම් ඌට නිසල මනසක් නොවිණි.

එයින් පසු මම කණාමැදිරියන්ට බිය වීමි.

-----.

දෙපැය බොහෝ වේගයෙන් ගෙවී යයි. කිසිදා මේ සමාධිය  මෙතනින් එහාට නෑදෙයි. කාලයත් මනසත් ඊට හරස් වෙයි. සමාවත් දයාවත් සෙනෙහසත් එක සේ පුද දුන් නාරද තුරුල්ලෙහි කිසිදු අ‍තෝරයකින් තොරව සුව නිදි ලබන ඒ කුලවත් ස්ත්‍රියට  -  සිත්වීන්දීගේ අම්මාගේ සිතට,  මෙතෙකින් එහා මතක අවුස්සන්නට මම ඉඩ නොතබමි.. හෘද මුද්‍රාවක් ‍රැඳි රහසිගත අහිංසක මතකයක් පුරුද්දට මෙන් කැණ , එහි මුල්ම  විනාඩි කිහිපයක මොහොතක් (එනම් දෙපැයක්) ලැග සිටීමෙන් මා පාපී ගැහැණියක වන්නෙමිද?

මම සුක්කානමෙන් හිස ඔසවමින් රිය පණ ගන්වමි. වරදකාරී හැඟීමෙන් ආතුර හදවතින් යුතුව , විසල් තුරු පතරිනුත් , අක්බාර් පාලමෙනුත් ඈත් වෙන තුරු මාරුතියෙහි වේගය වැඩි කරමින්, සිත්වින්දීගේ පෙර පාසල වෙත ඉගිලෙමි.

පුරුදු පරිදි , සිත්වින්දී ඇකයෙහි හොවා ගනිමින් , හන්තානට සඳ පායන්නට පෙර, කණාමැදිරින් එලි බසින්නට පෙර, නාරදගේ ප්‍රිය මුහුණ දැක සිතින් පව් සමාකරගන්නා දැඩි අභිලාෂයෙන් , කුලවමියකගේ ලැසි ගමන හැරදා උපරිම වේගයෙන් අතීතයෙන් පලා යමි.